අපි හැමෝටම යාලුවො ඉන්නව. අපිත් ගොඩක් අයට යාලුවො වෙනව. මේ හැම යාලුවෙක්ම ඒ ඒ අයට විශේෂ ආවේණික ලක්ෂණ තියෙන අය. ඉතින් දහසක් යාලුවො අතරෙ අපිට ගැලපෙන යාලුවො කවුද කියන එක හොයාගන්න ටිකක් අමාරුයි. මොකද සමහර අය හඳුන ගන්නත් ටිකක් කල් යනව.අඳුන ගන්න කාලෙ වෙන කොට වෙන්න තියෙන දේවලුත් ගොඩක් වෙලා ඉවරයි.
හෑලි ඉවරයි. දැන් කතාවට. කොටින්ම අද අපි කතා කරන්නේ අපේ ජීවිත වලට වැදගත් වෙන යාලුවො වර්ග ගැන. මේක ටිකක් අමුතු මාතෘකාවක් තමයි. ඒත් කමක් නැහැ යමු ඉස්සරහට.
ටිකක් විතර පිස්සුවක් තියෙන කෙනෙක්.
මේක අමුතු පෙන්වාදීමක් තමයි. මොකද හැමෝම කැමති පිස්සන්ගෙන් ඈත් වෙල ඉන්නනෙ. මෙහෙමයි, එහෙම අය යාලුවො විදියට ඉන්න කොට අපිට අපේ සැප දායක කළාපෙන් එලියට එන්න අවස්ථාවන් මතුවෙනව. සැප දායක කළාපෙ කිවුවෙ මේකයි. අපි හැමෝම පුරුදු උන ජීවන රටාවක් තියෙනවනෙ. අන්න ඒක කඩාගන්න කවුරුත් කැමති නැහැ. හේතුව එහෙම කඩාගත්තම අපිට හරිම නුහුරක් සහ අපහසුතාවයක් දැනෙනව. ඉතින් ඒකටම හිර වෙලා ඉන්න උනොත් වෙන්නේ ජීවිතේ එකම තැන පල් වෙන්න. ඉතින් එහෙම තැන් වලින් එලියට බහින මෙහෙම යාලුවෙක් ඉන්න එක වටිනව නේද..?
අවංක කෙනෙක්
මේක ඉතින් කියන්නත් දෙයක්ද ? අපි වටේ ඉන්න ගොඩක් මිනිස්සු එක්ක බලනකොට විශ්වාස කරන්න පුලුවන් අවංක කෙනෙක් ඉන්න එක කොයිතරම් දෙයක්ද ? මේකෙ තියෙන අනික් වැදගත් කම තමයි අවංක යාලුවො කවදාවත් ඔයාගෙන් ලකුණු දාගන්න හරි ඔයාගේ හිත සතුටු කරන්න හරි හිතාගෙන ඔයා ගන්න නරක තීරණ වලදි ඔයාට බොරුවට උදවු කරන්නෙ නැහැ
මේක ගොඩක් වැදගත්. දන්නවද අපිට අපි ගන්න සමහර තීරණ වල වැරදි අඩු පාඩු පේනව අඩුයි. වටේ ඉන්න අයත් අපේ හිත සතුටු කරන්න ඒවට උදවු කරයි. ඒත් අවංක යාලුවෙක් කවදාවත් එහෙම කරන්නෙ නැහැ. ඔයා එයත් එක්ක තරහ වීමේ ප්‍රවණතාවක් තිබුනත් එයා ඔයාව බේරගන්න ඇත්තම කියනව. බලන්න කොයි තරම් වැදගත්ද.
හොඳම කාරණය තමයි. මෙහෙම යාලුවො ගොඩක් අයට අඳුරගන්න වෙන්නෙ සිද්දියක් වෙලා ටිකක් කල් ගියාට පස්සෙ. එතකොට ඔයාම එයත් එක්ක තරහ වෙලත් ටිකක් කල් වෙයි. මොකද එයා ඔයාගේ හොදට ඇත්ත කියන්න ගිය නිසා. කල්පනා කරල බලන්න ඉන්නවද කියල එහෙම කෙනෙක් ?
දීර්ඝ කාලීන කෙනෙක්
මෙහෙම අය අපි හැමෝටම වගේ ඉන්නව. මෙයාල අපේ ජීවිත වල ගොඩක් පැති දන්නව. අපි ගැන අපිටත් වඩා හොඳට සමහරවිට මෙයාල දන්නව. ජීවිතේ ප්‍රශ්න එන වෙලාවට මෙහෙම තමන්ව ගොඩක්ම දන්න කෙනෙක් ලඟ ඉන්න එක ඉතාම වටිනව. ඔයාට ගොඩක් දේවල් මතක් කරල දෙන්නත්. තේරුම් කරල දෙන්නත් මෙයාට පුලුවන්.ඔයා ගැන විතරක් නෙවෙයි ඔයාගේ පවුල ගැන සහ අනික් හැම දෙයක් ගැනම එයාට අවබෝධයක් තියෙනව. ගොඩක් වටිනව නේද ?
විහිලුවෙන් , සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්
මේ ජීවිත කාලෙ වැඩි කාල සීමාවක් අපි ගෙවන්නේ ගොඩක් ප්‍රශ්න වලට හිර වෙලා. හැම වෙලේම මොකක් හරි දෙයක් නිසා හිත විඩාවට පත් වෙලා තියෙන්නෙ. ඉතින් මෙහෙම යාලුවෙක් ඉන්න කෙනෙක්ට වෙන අහන්න දෙයක් නැහැ. එක හමු වීමක් ඇති ඔක්කොම විඩාව දිය කරල දාන්න. ඉන්නව නේද මෙහෙම කෙනෙක් ඔයාල අතරෙත්. මතක් කරල බලන්න ඒ මොහොතවල් කොයි තරම් සුන්දරද කියල. ජීවිතේ සැහැල්ලුව ඉතාම වැදගත්. ඉතින් ඒ නිසා මෙහෙම කෙනෙකුත් වැදගත් නේද ?
වැඩ කරන තැන යාලුවෙක්
ඉන්නව නේද හැමෝටම. එකට කෑමට යන. ඕනම කට්ටකට සපෝර්ට් එක දෙන. ඕනම වැඩකදි උපදෙස් ගන්න පුලුවන් කෙනෙක්. අපි දන්නවනෙ ඉතින් ඔෆිස් වලයි වැඩ පලෙයි වැඩ කරන අතරේ අපිට මුහුන දෙන්න වෙන දේවල්. තමන්ට ගැලපෙන තමන් වගේම කෙනෙක් ගොඩක් අයට යාලුවෙක් විදියට එකතු වෙනව. ඔබ රැකියා ස්ථානයේදී මුහුන දෙන ගොඩක් ගැටලු කාරී අවස්ථාවල සැනසීමකට ඉන්නෙ මෙහෙම කෙනෙක් තමයි. ඔබව තේරුම් ගන්න, ඔබට සහනයක් වෙන, නිතරම විහිලුවක් කරන්න පුලුවන් කම තියෙන, වැඩපලේ ඕනම දෙයක් බය නැතුව කියන්න පුලුවන් මෙහෙම කෙනෙක් ඉන්න එක හිතට ලොකු හයියක් හැමෝටම.
ඔබව නිතරම අගය කරන කෙනෙක්.
අපිට මේ සමාජ ජීවිතේ ඇතුලෙ ගොඩක් වෙලාවට මුණගැහෙන්නෙ අපිව පාගා දමන. අපිව වෙහෙස කරවන. අපිව පහලට ඇද දාන උදවිය. වැඩපලේත්, පාසලෙත්, මහ පාරෙත් මෙහෙම අය දුලබ නැහැ. මේ අතරේ අපි කරන කියන දේවල් දිහා බලල, ඒ දේවල් ගැන අපි ලබල තියෙන ප්‍රගතිය ගැන අවන්කවම අගය කරන යාලුවෙක් කියන්නේ බොහොම වටින සම්පතක්. මේ කියන්නේ මූනිච්චාවට අපිව මුරුංගා අතු වල තියන කෙනෙක් නෙවෙයි. සැබෑවටම අපිව අඳුරගෙන අගය කරන අය. මෙහෙම අය තමයි අපිට ජීවිතේට ඕන ශක්තිය සහ විශ්වාසය ගොඩනගාගන්න උදවු කරන්නේ. පුලුවන්නම් කෙනෙක් හොයාගන්න මේ වගේ.දැනටත් ඉන්නවනම් පරිස්සම් කරගන්න. මොකද මෙහෙම අය ගොඩක් හිඟයි.
අන්න එහෙමයි යාලුවො වර්ග වෙන්නෙ. හිතල, කල්පනා කරල බලන්නකො ඔයාට ඉන්න යාලුවො අතරෙත් මෙහෙම අය ඉන්නවද කියල. නැත්නම් ඉක්මනටම හොයාගන්න. ඒවගේම, ඔයත් කාට හරි ඒ විදියෙ යාලුවෙක් උනානම් තමයි ගොඩක්ම වටින්නෙ.








