Wednesday, September 14, 2016

හැමදාමත් පරක්කු වෙලා ඔෆිස් යන අයට

ගාත්‍රා_Gathra_HowToGetupEarly_කලින්_නැගිටින්න


ඔබ
මම, ඔහු, ඇය, අපි හැමදෙනාම වගේ බොහෝ දුරට උදේම අවදි වෙලා වැඩට යනවානැත්නම් පාසැල්  යනවා, ඒත් නැත්නම් කොහේ හරි ගමනක් බිමනක් යනවා. හැබැයි අපි ගොඩක් අය කොච්චර හිතලා පාන්දරම නැගිටින්න හැදුවත් නැගිටින්නෙනම් හිතාගෙන ඉන්න වෙලාවට වැඩිය පොඩ්ඩක් හරි පරක්කු වෙලා. මේ හේතුව නිසාම සමහර වෙලාවට අපි යන ගමනෙදි බිමනෙදි අපහසුවක් දැනෙන්න පුළුවන්, නැත්නම් විඩාබර, පීඩාකාරී බවක් දැනෙන්න පුළුවන්. සමහර විට මේ හේතුව නිසා උදේ පාන්දර ඉඳන්ම හැම දෙයක් ගැනම කේන්තියෙන් ඉන්න අයත් නැතුවාම නෙවෙයි. ඉතින් අපිට මේ ගැන මොනවද කරන්න පුළුවන්? ඔබත් මේ ගැටළුවට විසඳුමක් හොයනවානම් මේ ලිපිය කියවලා බලන්න, වෙලාවට නැගිටින්න උදව්වක් වෙන දේවල් කීපයක්ම ඔබට හමුවේවි.

පියවරෙන් පියවර


උදේට අවදිවෙන වෙලාව වෙනස් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ක්‍රමානුකූලව තමන් අවදිවෙන වෙලාව වෙනස් කිරීම. මේකෙදි මුලින්ම දවස් කීපයක් යනකල් සාමාන්‍යෙයන් අවදිවෙන වෙලාවට වඩා මිනිත්තු
10ක් 15ක් පමණ වේලාසනින් අවදිවෙන්න. හැබැයි මතක තියාගන්න එක වරම පැය ගණන් වලින් වෙනස් කරන්න යන්න එපා. එහෙම කළොත් ඒක තවත් කරදරයක් විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට පහසුවක් දැනෙනකල් මිනිත්තු 10ක් 15ක් විතරක් කලින් අවදිවෙන්න.

එලාම් එක තියන්නේ කොහේද? 

සාමාන්‍යයෙන් ඔබ නැගිටින්නේ එලාම් නාදයකට අනුවනම් ඒ එලාම් එක ඔබේ ඇඳට ලඟින් තියාගන්න එපා. ඇඳෙන් බිමට බැහැලා ඇවිදගෙන ගිහින් ක්‍රියාවිරහිත කරන්න අවශ්‍ය වෙන තරමේ දුරකින් තියන්න. මොකද එලාම් එක ලඟ තිබුණොත් ඔබ නිදාගෙන ඉන්න ගමන්ම ක්‍රියාවිරහිත කරලා ආයෙත් නිදාගන්න තියන ඉඩකඩ වැඩියි. ඉතින් එලාම් එක ඕෆ් කරන්න කාමරය හරහා අඩි කීපයක් ඇවිදගෙන යන එක ඔබව අවදි කරන්නට උදව්වක් වේවි.

තේ ද කෝපි ද? 

ඔබ අපහසුවෙන් හරි අවදිවුණානම්, ඇඳෙන් බිමට බැහැලා දෑත් දෙපසට විහිදලා ඈලි මෑලි ගතිය යන්නට ඉඩ හරින්න. එමගින් ඔබේ නිදිමත ඉවත් කරලා ක්‍රියාශීලීත්වයක් ඉක්මණින් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔබ අවදි වුණාට පස්සේ පිරිසිදු වතුර වීදුරුවක් පානය කරන්න උත්සාහ කරන්නනැතිනම් ඔබට හිතට එන නැවුම් අදහස් වලින් යමක් නිර්මාණශීලීව ලියන්නඒත් නැතිනම් උණුසුම් කෝපි හෝ තේ කෝප්පයක් රස විඳින්න. මේ දේවල් වලින් ඔබේ දවස උදාව ගොඩක් ප්‍රබෝධමත් කරාවි. ඒ වගේම මිනිත්තු කිහිපයක් භාවනා කරන්න හෝ ව්‍යායාම කරන්න පුළුවන්නම් ඔබේ දවස නැවුම්ව තියාගන්න එය ගොඩක් උපකාරී වෙන බවත් කිව යුතුම කාරණයක්.

ඇති වෙන්න නිදාගමුද?  

හැබැයි මේ හැමදේටම වැඩිය වැදගත්ම දේ තමයි උදේම අවදි වෙන්නනම් රෑට නිදාගන්න වෙලාව ඊට ගැලපෙන්න සකසා ගන්න ඕන. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් පැය 7ත් 8ත් අතර ප්‍රමාණයක් නිදාගැනීම අවශ්‍යයි. ඉතින් ඔබ උදේට අවදි වෙන්න ඕන වෙලාවට පැය 7ක් 8ක් කලින් නිදාගන්න පුළුවන්නම් ඔබට උදේ අවදි වෙන එක ඒ තරම් ගැටළුවක් වෙන එකක් නෑ.

එහෙනම් වෙනසක්

ඔබටත් උදේට අවදිවීම පිළිබඳව ගැටළු තියනවානම් ටිකක් මේ දේවල් උත්සාහ කරලා බලමු. ඔවු, සමහර විට ඔබට මුලින් එය අපහසු වෙයි. නමුත් අපහසුවෙන් හරි කීප දවසක් කළොත් ඒ වෙනසත් ඔබටම බලාගන්න පුළුවන් වේවි. 



ගාත්‍රා.෴

0 comments:

Post a Comment